Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

මර්වින් සංදර්ශනය





මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පෙරේදා උදැසන යළිත් වරක්‌ මේ රටේ අහිංසක පුරවැසියකුට හිරිහැර කළේ යෑයි අප පුවත්පත වාර්තා කළේය.

මේ මුළු සිදුවීමම ආවරණය කළ ස්‌වර්ණවාහිනී ප්‍රවෘත්තිවලට අනුව සිදුවූ හිරිහැරයේ ප්‍රමාණය මොනවට පැහැදිලි විය.

දිවයින වාර්තාවට අනුව මේ බලවත් අසාධාරණයට සහ අවමානයට ලක්‌වූ පුරවැසියා වූ කලී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ගුරු දෙගුරු සංගමයේ නියෝජිතයෙකි. විදුහලේ ඉදිකිරීමට නියමිත පිහිනුම් තටාකාංගනයට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා ආදි ශිෂ්‍ය සංගමය මගින් මුද්‍රණය කළ ටිකට්‌පත් පිළිබඳව මෙම ගුරු දෙගුරු සංගම් නියෝජිතයාට විවේචනයක්‌ තිබූ බව පෙනේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම සමාජයීය කටයුත්තකදී විවේචන පැවතීම එම සමාජයේ සාමාජිකයන් විසින් පොදුවේ පිළිගන්නා කාරණයකි. මෙය හැඳින් වෙන්නේ සමාජ අනුශාස්‌ති (Social Norms) වශයෙනි.

බිහිසුණු ආඥදායක සමාජවල හෝ ත්‍රස්‌තවාදීන් සමාජ පාලකයන් බවට පත්වූ සමාජවල හෝ මෙබඳු සමාජ අනුශාස්‌තින් නැත. එබඳු සමාජයක විවේචනය යනු විවේචකයාට හොම්බ තලා ගැනීමට හෝ හොම්බෙන් ගමන් කිරීමට හෝ සිදුවන ක්‍රියාදාමයකි.

මීට වසර දෙකකට පමණ පෙර අපේ රටේම උතුරු-නැගෙනහිර පළාත්වල එබඳු සමාජයක්‌ තිබුණේය. එම සමාජය පාලනය කළේ කොටි ඇඳුම් ඇඳගත්, ඒ නිසාම අයියලා බවට පත්වූ මල්ලිලා පිරිසක්‌ විසිනි.

වැඩිහිටි කමට, මහත්මා කමට තබා ගමේ කමටවත් මිනිසුන්ට නොසැලකූ ඔවුන් විසින් විවේචනය සලකනු ලැබුයේ තමන්ට එරෙහිව සිදුකෙරෙන මහා අපරාධයක්‌ ලෙසටය. තමන් පෙලූ බිහිසුණු හීනමානය කෙතරම් අයහපතක්‌ තමන්ට සිදුකළේද යන්න බලයෙන් උදම්වී සිටි සමයේ ඔවුහු නොදැන සිටියෝය.

මේ සම්බන්ධයෙන් අපට ආසන්න රටකින් නිදර්ශනයක්‌ ගන්නේ නම් අප යා යුත්තේ පොල්පොට්‌ සමයේ කම්පුචියාවටය. එහිද විවේචනය සපුරා තහනම්ය. යමක්‌ විවේචනය කරනු තබා විවේචනය කිරීමට සීතිමද එහි පහරකෑමට හේතුවක්‌ විය. මිනිසුන් තමන් විවේචනය කිරීමට සිතන බව දන්නේ කෙසේදැයි පසුකාලයකදී කෙමරුජ් ගරිල්ලා බට්‌ටෙකුගෙන් විමසන ලදුව ඔහු දී ඇත්තේ පුදුම පිළිතුරකි.

"මිනිහෙක්‌ වෙන මුකුත් නොකර නිකම් කල්පනා කරනව නම් අපි හිතන්නේ ඔහු අපව විවේචනය කිරීමට කල්පනා කරනව කියලයි. ඉතින් කල්පනා කරන මිනිහෙක්‌ දැක්‌ක තැන අපි ඔහුට ගහනවා"

විවේචනයට පුදුම බියකින් අසරණ මිනිසුන් තලා පෙලූ, එබඳු මිනිසුන් කාලයක්‌ සමහර රටක සමාජයක වැජඹුණ බව ඇත්තය. එහෙත් ඒ කිසියම් කාලයකට පමණය. අද දවසේ ඔවුන් ඉතිහාසයේ තබා ඉතිහාසයේ කුණු බක්‌කියේවත් නැත.

එහෙත්, කැලණියද ඇතුළු සමස්‌ත ශ්‍රී ලංකාවම එබඳු විෂම පරිසරයක්‌ පවත්නා රටක්‌ නොවේ. එය අදහස්‌ ප්‍රකාශ කිරීමේ, විවේචනය කිරීමේ නිදහස ඇති රටකි. ඒවා මෙහි පවතින බවට ලෝකයටම ශපථ කොට සිටින රටකි.

එහෙව් රටක රජයක වගකිවයුතු අමාත්‍යවරයෙක්‌ මොකා හෝ රටවැසියකුට තර්ජනය කොට කමිසයෙන් ඇද පහර දෙන විට සේදී යන්නේ රටේම නම්බුව බව අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාට පැහැදිලි කර දීමට මේ රටේ මනුස්‌සයෙක්‌ නැති වීම රටේම අවාසනාවක්‌ බව අපගේ අදහසය.

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මීට පෙර මෙබඳු හැසිරීම් පිළිබඳවද, ඉන් ඔහුටත් මෙම රජයටත් රටටත් සිදුවන අපකීර්තිය පිළිබඳවද දිවයින විසින් ලියනු ලැබ ඇත්තේ වරක්‌ දෙවරක්‌ නොවේ.

අපි මෙවරද මෙය ලියා අපේ කට බිම උලාගමු.



උපුටාගැනීම: දිවයින

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862