මම බොහොම අමාරුවෙන් ජීවිතය ජයගත් කෙනෙක්‌
සුදාරා රන්දිනී

නමින් සුදාරා රන්දිනී ගුණරත්න වන ඇය මේ වනවිට ක්‍ෂේත්‍රය තුළ චරිතාංග නිළියක්‌ ලෙස කැපී පෙනෙයි. මෙසේ පවසන්නේ ඇය 2007 , 2008 , 2009 , 2010 ගෙවුණු සිව් වසර තුළදීම වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් සම්මාන රැසක්‌ දිනාගැනීමත් ඒ නිසාම එළඹෙන 2012 දී රාජ්‍ය නාට්‍ය උළෙල සහ යෞවන සම්මාන උළෙල නියෝජනය කරන වේදිකා නාට්‍ය දෙකක රඟපෑම සඳහා ආරාධනා ලැබීමත් නිසාය. මේ වනවිට ටෙලිනාට්‍ය කිහිපයකට සහ වේදිකා නාට්‍ය කිහිපයකට දායකත්වය සුදාරා ලබාදෙයි.

සුදාරා 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ සහ යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශය වෙනුවෙන් චාලක රණසූරිය කළ “බොක්‌ස්‌” වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් වසරේ හොඳම වේදිකා නාට්‍ය නිළිය ලෙස සම්මානයන්ට පාත්‍ර වූවාය. මෙය ශ්‍රී ලංකා වාර්තාවකි.

සුදාරා මේ දවස්‌වල මොනවද කරන්නේ

මේ දවස්‌වල මම රංජිත් රූබසිංහ කලාකරුවාගේ අධ්‍යක්‍ෂණයෙන් යුතු කේ. බී හේරත්නයන්ගේ පිටපතක්‌ අනුව නිෂ්පාදනය වන “රණ මොනරු” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට එකතුවෙනවා. රූපගත කිරීමේ තියෙන්නේ මීගමුව සහ නුවරඑළියේ. වසන්තසිරිගේ නිෂ්පාදනයක්‌ වන “ෆෙංෂුයි ගෙදර” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධවෙන්න බලාගෙන ඉන්නවා. එහි රූපගත කිරීම් කුළියාපිටිය අවට දෙසැම්බර් මුල් කාලයේදී පටන් ගැනීමට නියමිතයි. ඒත් එක්‌කම සුනේත්‍රා රාහුබද්ධ නිෂ්පාදනය කරන රෙජිනෝල්ඩ් ජයමාන්න අධ්‍යක්‌ෂණය කරන “ලෝභ නොසිඳේaයා” ටෙලිනාට්‍යයේ සහ බෙනට්‌ රත්නායක නිෂ්පාදනය කරන ප්‍රේම කුමාර ජයවර්ධන අධ්‍යක්‌ෂණය කරන “නමවෙනි කඩුල්ල” යන ටෙලි නාට්‍ය 02 කට දායකත්වය ලබා දෙනවා. අජිත් ලොකුගේ රංගන ශිල්පියා විසින් අධ්‍යක්‌ෂණය කරන “පරණ ටවුම” ටෙලිනාට්‍යයටත් එකතු වෙනවා. ගයනා සුදර්ශනී රංගන ශිල්පිනියගේ අලුත්ම නිෂ්පාදනයටත් එකතු වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

සුදාරා කලා ක්‌ෂේත්‍රයට පැමිණියේ කෙසේද?

මම මුලින් රූපවාහිනී ළමා ශිල්පිණියක්‌. ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ මුතුහර ළමා වැඩසටහන හරහා 1990 දී ගායනය, නර්තනය, රංගනය, ඉදිරිපත් කිරීමේ හැකියාව මට ලැබුණා. 1992 වසරේදී නාමල් ප්‍රියදේවගේ සක්‌විති දැක්‌ම වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න හැකිවුණා. එතැන් සිට මේ දක්‌වා වේදිකා නාට්‍ය 10 කට සම්බන්ධවෙලා තියෙනවා. 2007 වසරේ දී එඩ්වඩ් පෙරේරාගේ බහුවර්ණ වේදිකා නාට්‍ය වෙනුවෙන් කුසලතා සම්මානයක්‌ මුල්වතාවට මම ලබාගත්තා.

සුදාරාගේ ගම කොහේද?

මම වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පොල්ගහවෙල.

ඉගෙන ගත්ත පාසල කුමක්‌ද?

මම ප්‍රාථමික අංශයේ සිට උසස්‌ පෙළ දක්‌වා ම ඉගෙන ගත්තේ පොල්/ ශාන්ත බර්නඩෙත් ආදර්ශ මහා විද්‍යාලයෙන්.

පාසලේ දී ඔබ කලා කටයුතු වලට සම්බන්ධ වුණාද?

අපොයි ඔව්. මම නැටුම් , ගැයුම්, වැයුම්, අංශ 03 ටම දක්‌ෂතා පෙන්නුවා. මගේ රංගන හැකියාව මුලින් ම හඳුනා ගත්තේ කාන්ති හේවාවිතාරණ ගුරුමෑණියන්. එතුමියව ආදරයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේ ම මගේ පාසලේ සෞන්දර්ය විෂයන් ඉගැන් වූ ගුරු මෑණිවරු මතක්‌ කළ යුතුයි.

පාසලේ විදුහල්පතිනිය මාපා රත්මලේ ඇතුළු මට මට සිප්සතර ඉගැන්වු සියලුම ගුරුමෑණිවරුන්ට මා ස්‌තුතිවන්ත වෙනවා.

ඒ විතරක්‌ නෙවෙයි මම පාසලේ තූර්ය වාදක කණ්‌ඩායමේ සාමාජිකාවක්‌ මෙන්ම ශිෂ්‍ය නායිකාවක්‌ ලෙසත් කටයුතු කළා. මළල ක්‍රීඩා වලදීත් දක්‌ෂතා පෙන්නුවා.

නිළියක්‌ නොවුණා නම් කවුරු වෙන්නද හිතිගෙන හිටියේ?

ඇත්තටම එහෙම ලොකු සැලසුම් තිබුණේ නැහැ. නමුත් කලාවට යොමුවෙන්න පොඩිකාලේ ඉඳලා කැමැත්තක්‌ නම් තිබුණා. එහෙම නොවුණා නම් නර්තන ගුරුවරියක්‌ වෙන්න ආසාවෙන් හිටියා.

නිළියක්‌වීම ගැන මොනවද හිතන්නේ

ඇත්තටම ලොකු වාසනාවක්‌. ලොකු භාග්‍යයක්‌. දේවත්වයෙන් සැලකියව යුතු ක්‍ෂේත්‍රයක රැඳෙමින් සියලුදෙනාගේ ආදරය ලබන්න හැකිවීම පිළිබඳ සතුටුයි.

සුදාරාගේ පවුලේ තොරතුරු මොනවාද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්‌කලා හතර දෙනයි. ඔවුන් සියලු දෙනාම විවාහකයි. මම තමයි අපේ පවුලේ බඩපිස්‌සි.

ජීවිතය ගැන ආපසු හැරී බැලීමේ දී මොනවද හිතෙන්නේ.?

මම බාධක කම්කටොළු මැදින් ජීවිතය ජයගත් කාන්තාවක්‌. සෙමින් ගමනක්‌ යමින් අද මම ඉන්න තත්ත්වය පිළිබඳව මම සතුටු වෙනවා. මේ ගමනට මගේ සෙවනැල්ල වගේ සිටින මගේ සැමියා, පවුලේ අය, අම්මා මතක්‌ කළ යුතුමයි.

ඔබේ සැමියාගේ තොරතුරු කියමු

ඔහු ව්‍යාපාරිකයෙක්‌. නම චමින්ද ගුණරත්න.

සුදාරා කියන කලාකාරිය බිහිවෙන්න ඔහුගෙන් ලැබුණු සහයෝගය අපමණයි. අපි පදිංචි වෙලා ඉන්නේ පොල්ගහවෙල. මේ දවස්‌වල කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නිසා මම මරදානේ ඉන්නවා.

අනාගත බලාපොරොත්තු

මම මේ වනවිට විශාරද විභාගය අවසන් කරලයි ඉන්නේ. ඒ ගමනට විශාරද නන්දා මාලනියගෙන් බොහෝ උදව් මට ලැබුණා. ඊට අමතරව කුරුණෑගල එරන්ද කලායතනයේ සංජය බෝතොට ඇතුළු ගුරු මණ්‌ඩලය ස්‌තුති පූර්වකය සිහිපත් කරනවා. ඉදිරි වසරේ මැද භාගයේ දී අලුත් ගීත නිර්මාණ කිහිපයකින් රසිකයන් හමුවන්න මම බලාපොරොත්තු වෙනවා.

හරින්දි ලියනගේ

ඡායා – සුජාතා ජයරත්න