Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

මවුපියන්ගේ ආශිර්වාදය මගේ විවාහයට ඕනෑමයි – මේනකා පීරිස්


මේනකා පීරිස් දක්ෂ නර්තන ශිල්පිනියකි. පසුගියදා නිමාවුණු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත්තේ ඇයයි. එම තරගාවලිය පුරා ඇය පෙන්නුම් කළ දක්ෂතාව විනිශ්චය මණ්ඩලයේ මෙන් ම ප්‍රේක්ෂකයින් ගේ ද ගෞරවාදරයට පත්වීමට හේතුවක් විය. මේ දිනවල දිවයින පුරා සිනමාශාලාවල තිරගත වන ‘කිව්වද නහී නොකිව්වද නහී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන මේනකා මෙහිදී නර්තනයට මෙන් ම රංගනයට ද තමා තුළ වූ හැකියාව මනාව පෙන්නුම් කර ඇත.

කලා කටයුතු නිසා ඔබ මේ දිනවල කාර්ය බහුල ද?

නැහැ මම මේ දිනවල ටිකක් විවේකයෙන් ඉන්නව. මගෙ නර්තන පන්තිය පටන් ගන්න මේ දවස්වල වෙහෙසෙනව. පසුගිය කාලය පුරාම මම ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහනට සහභාගි වුණු නිසා විවේකයක් තිබුණේ ම නැහැ.” ඒ නිසා මට හිතුණා ටික දවසක් විවේකයෙන් ඉන්න. මම රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ මේ දවස්වල විකාශය වෙනවා. ‘කප් සුවහස් කල්’, ‘මොනරතැන්න’ ඒ අතරින් කීපයක්. ඒ වගේ ම මම රංගනයෙන් දායක වුණු ‘කිව්වද නහී නොකිව්වද නහී’ චිත්‍රපටය ඉතාම සාර්ථකව රට පුරාම තිරගත වෙනවා.

ඔබ කලාවට සම්බන්ධවීම අහඹු සිදුවීමක් ද?

මම පාසල් ගියෙ ගල්කිස්ස උසස් බාලිකාවට. පාසල් කාලෙ පටන් මම නර්තනයට ආශයි; දක්ෂයි. පාසල් වේදිකාවේ මම නැටුම් ඉදිරිපත් කළා. නර්තන ප්‍රසංග වලට පවා මම ඒ කාලෙ සහභාගි වුණා. පාසලෙන් ඉවත් වුණාට පසුව මම මැක්ස් රූපවාහිනි නාලිකාවට නිවේදිකාවක් ලෙස සම්බන්ධ වුණා. එම නාලිකාව නිර්මාණය කළ ‘සයිලෝනා’ නමැති ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ මම. ඒ මගේ පළමු ටෙලි රංගන අත්දැකීම. ඒක සංගීත කණ්ඩායමක් වටා ගෙතුණු කතාවක්.

ඒ ටෙලිනාට්‍යයේ වැඩ කරන විට තමයි මට ‘විසිරුණු මල්’ චිත්‍රපටයට ඇරයුම් ලැබුණේ. ‘විසිරුණු මල්’ මම රඟපෑ පළමු චිත්‍රපටය. ඊට පසුව ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වුණා. ඉන්පසුව ‘කිව්වද නහී නොකිව්ව ද නහී’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වුණු දවසේ තමයි මට ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගාවලියට ඇරියුම් ලැබුණේ. මේ නර්තන තරගාවලියට සහභාගි වන අතරතුර තමයි ‘මොනරතැන්න’ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ.

‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ ඔබේ ජීවිතයේ නොමැකෙන මතක සටහනක් නේද?

ඇත්තෙන් ම ඔව්. ඒ වනවිට මම ටෙලිනාට්‍ය කීපයකට සහ නිවේදන කටයුතුවලට සහභාගි වෙලා තිබුණත් ප්‍රේක්ෂකයින් මාව හැඳින ගත්තේ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් ප්‍රසංගයෙන්. මගේ නර්තනයන් දැකල ප්‍රේක්ෂකයින් මට ආදරය කරන්න ගත්තා. රට පුරාම ඉන්න ජනතාවකගෙ ආදරයට පාත්‍ර වෙනව කියන එක වාසනාවක්. ඒ ගැන මම ගොඩක් සතුටු වුණා. ඒ වගේ ම ‘මොනරතැන්න’ වැනි ටෙලිනාට්‍යයකට දායක වෙන්න ලැබුණේ මෙම නර්තන වැඩසටහන නිසා.

‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගාවලියෙන් ඔබට ලැබුණු ස්ථානය පිළිබඳ ඔබ තෘප්තිමත් ද?

ඇත්තෙන් ම තෘප්තිමත්. මේ තරගාවලියේදි විශාල ප්‍රේක්ෂක පිරිසක් මා වටා එකතු වුණා. අවසන් වටයේ අවසන් දිනයේ දී විනිශ්චය මණ්ඩලයේ වැඩිම ලකුණු හිමි වුණේ මට. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් තවම කෙටි කාලයයි. ඒ කාලය තුළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතරට එන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා මේ නර්තන තරගාවලියේදී මට ලැබුණු ස්ථානය ගැන මම තෘප්තිමත්.

‘කිව්වද නහී නොකිව්වද නහී’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේක හරි ම ලස්සන කොමඩි චිත්‍රපටයක්. මේ වනවිට රටේ ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටය නරඹල ඇති. ඉතාම ප්‍රවීණ ශිල්පීන් රැසක් ම මෙහි රඟපානව. මෙහි චරිතය කොමඩි චරිතයක් නෙමෙයි. ඒක ටිකක් සැර පරුෂ චරිතයක්. චිත්‍රපටය නරඹපු හැමෝම වගේ චිත්‍රපටයට හොඳ කිව්ව. ඒ වගේ ම මගේ රංගනය ගැනත් ඔවුන් සතුටින් කතා කළා.

සිනමාවට පිවිසෙන්න ඔබට සිහිනයක් තිබුණද?

පුංචි කාලෙ ඉඳලම මම ආශා කළේ නර්තනයට. ඒත් ඇතැම් අය කිව්ව මට රංගන හැකියාවක් තියෙනව කියල. කෙසේ හෝ සිනමාවට එන්න මට අවස්ථාව ලැබුණා. ඒක මා ලද විශාල ජයග්‍රහණයක්. එසේ පැතුම් ඉටු වීමක්.

මොනවද ඔබේ පවුලේ තොරතුරු?

අම්මයි තාත්තයි මමයි මල්ලියි තමයි අපේ පවුල. මම මගෙ ජීවිතයට වඩා මගෙ පවුලේ අයට ආදරය කරනව.

ඔබේ පෙම්වතා සහ විවාහය පිළිබඳ සඳහන් කළොත්…?

මට තවම පෙම්වතෙක් නෑ. ඒ ගැන මගේ හිතේ තවම කිසිම අදහසක් නෑ. නමුත් ආදරය හැමෝටම අවශ්‍යයි. මට ගැලපෙන කෙනෙක් මුණ ගැසුණාම මම මුලින් ම ඒ ගැන මගෙ අම්ම තාත්තට කියනව. ඔවුන්ගෙ ආශිර්වාදය අවසරය මට අවශ්‍යමයි. ඒ අනුව තමයි මගේ ජීවිතයේ සෑම දෙයක් ම සිදුවෙන්නෙ. මම විවාහ වෙන කෙනා මට ආදරය කරන මාව රැක බලා ගන්නා කෙනෙකු විය යුතුමයි. ඒ වගේ ම මම ඉන්න ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක්, මා ගැන විශ්වාසයක් ඔහුට තියෙන්න ඕන.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

රංගනයෙන් සහ නර්තනයෙන් හොඳ නිර්මාණවලට සම්බන්ධ වීම මගෙ ලොකු බලාපොරොත්තුවක්. ඒ වගේ ම මගෙ නර්තන පන්තිය ළඟදීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

ගාමිණි සුසන්ත

ඡායාරූපය – ඉන්දික මල්ලවආරච්චි

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862